පුහු මිම්ම

මේක කැම්පස් එකේ දෙක වසර කාලෙ විනාඩි දෙකතුනක ඉතාම සුළු සිද්ධියක්. හැබැයි ඒ පාඩම ජීවිත කාලෙටම මතක තියෙයි.

දවසක් මම බවනේ ලැප්ටොප් එකත් දිග ඇරන් වඩයක් කකා ඉන්නකොට, කැෂුවල් ෂර්ට් එකක් කලිසමට යට නොකර ඇඳලා සැන්ඩ්ල්ස් දෙකකුත් දාගෙන ආපු මනුස්සයෙක් එනවා මං වාඩිවෙලා හිටි මේසෙටම. එන්නේ අලියා බීම බෝතලේකුත් අතේ තියාගෙන. පෙනුමින්, මොකක් හරි පොඩි අවශ්‍යතාවයකට කැම්පස් එකට ආපු කෙනෙක් වගේ තමයි පෙනුණේ – අපේ බැචෙකුගෙ හරි ජුන්නෙකුගෙ හරි තාත්ත කෙනෙක්වත්ද? අපි අතර වචන කීපයයි හුවමාරු වුණේ,

“Mind if I sit here?”

“Sure, no problem.”

මම ඒ මනුස්සයා දිහා නොබල මගේ වැඩේ කරගත්තා, ඒ මනුස්සයා බීම එක බීල යන්න ගියා. ඊට පස්සෙ තමයි සින්නෙක් කිට්ටු කලේ මා ගාවට.

“මල්ලි උඹ දන්නවද අර බීම එක බීල ගිය මනුස්සය කවුද කියල?”

“නෑ, මොකක්ද special?”

“යකෝ ඒ ඇමරිකාවෙ යුනි එකක ප්‍රොෆෙසර් කෙනෙක්. සති දෙකකට ලංකාවට ඇවිත් මෙහේ ලෙක්චර්ස් වලට. හිතන්න පුළුවන්ද දැක්කම?”

පොඩි වෙලාවකට තුෂ්ණිම්භූත වුණු මම, යටිහිතින් කල්පනා කළා… “හොඳ වෙලාවට මගේ හැසිරීමෙන් වරදක් වුණේ නැහැ”. ඒ මනුස්සයගෙ ආචාරශීලී ගතියෙන්වත් මට යමක් නොදැනුණු හැටි!


මේ පුංචි කතාව මට මතක් වුණේ මෑතකදි මම ගැන වැඩිහිටි දෙපාර්ශ්වයක් අතර වෙච්ච පුංචි කතා බහක් මට ආරංචි වුණු නිසා.

“ඒ ළමය සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්”

“වෙන්න බෑ බලන්නකො තට්ටෙයි රැවුලෙයි හැටි තම්බියෙක් වගේ.”

“ඒ ළමයට කාර් එකක්වත් නැහැනෙ.”

වේලිච්ච ඉරටු නවන්න බැරිව ඇති. හැබැයි “ටිපිකල් ශ්‍රී ලංකන්” පටු සිතිවිලි වලින් අපිවත් මිදෙමු.

Advertisements

මතකයේ ඇති සිද්ධියක්… (මිදි තිත්තයි)

රටේ දැන් දැන් සිද්ධ වෙන බරපතල සිද්ධිත් එක්කම මට එකපාරටම පරණ යමක් මතක් වුණා. 2005 අවුරුද්දෙ උසස්පෙළ නිමා කරල රජයේ විශ්වවිද්‍යාලයකට යන්න සුදුසුකම නූලෙන් මිස් වෙලා රාජගිරියෙ රසායන විද්‍යා ආයතනයෙ උපාධිය හදාරන්න යන කාලෙ ඇහිච්ච, හිත කලකිරවන වචන කීපයක්.

එක දවසක් අකාබනික රසායනය පිළිබඳ දේශන පවත්වපු මහාචාර්ය වරයෙක් දේශනයෙ කොටසක් ඉවර වෙලා පොඩි අතුරු කතාබහක් පටන් ගත්තා. පොඩි බ්‍රේක් එකක්. කතාව ඒ දවස් වල ජ‘පුර කැම්පස් එකේ සිසු ගැටුම් ගැන. වලි ගැන කලකිරීමෙන් කතා කරපු මහාචාර්යතුමා අන්තිමේ අවධාරණාත්මක ස්වරයකින් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා.

“Free education should be stopped now.”

ඒක අවුලක් නෑ කියමු. කැම්පස් වල මිනීමැරුම් පවා සිද්ධ වෙලා තියෙන එකේ එතුමගෙ හිතේ තියෙන්න ඇති කලකිරීමත් එක්ක ඒ ප්‍රකාශය කළා වෙන්න පුළුවන් [සමහරවිට].

තත්පරෙන් දහයෙන් පංගු දෙකක නිහඬතාවයෙන් පස්සෙ දේශන ශාලාවෙ හිටපු ශිෂ්‍යයින්ගෙන් බාගයක් විතර ඒකට අත්පොළොසන් දුන්න. අන්න ඒකට මට හොඳටම රිදුන. (හ්ම්… දේශන වලදි කියන ඔය වගේ දේවල් වලට අත්පුඩි ගහලා සමරන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙමේ)

යකෝ මමත් ඕකට ආවෙ අනිත් එවුන් වගෙම සල්ලි දීල. කැම්පස් එකකට යන්න රෑන්ක් එක මදි වෙච්ච නිසා. ඒ දවස් වල දැනන් හිටියෙ නෑ මට රජයේ විශ්වවිද්‍යාලයක නොමිලේ ඉගෙනගන්න චාන්ස් එකක් ලැබෙයි කියල. එහෙම වෙලත්, මට නිදහස් අධ්‍යාපනයත් එක්ක කිසිම කිසිම කෝන්තරයක් තිබුණෙ නෑ. තමන්ට අවස්ථාවක් අහිමි වුණා හෝ තමන්ට අවස්ථාවක් අනවශ්‍ය නිසා අනුන්ට ලැබෙන අවස්ථාව නැති වීම පිළිබඳ ප්‍රසාදය පළ කරන එක කොයි තරම් ආචාරශීලීද, නේද?

2006 අවුරුද්දෙ දෙවන වර පෙනී සිටි උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුණාට පස්සෙ මම විවිධ හේතු සහ කලකිරීම් මත රසායන විද්‍යා උපාධිය නතර කරල දැම්ම. ඒ වෙනුවට, මගේ දක්ෂකමට නිදහස් අධ්‍යාපනයෙන් මට ලැබුණු තෑග්ග මම තෝරගත්ත.

 

ප. ලි.

හැබැයි ඉතිං මේ කතාබහ අත්පොළොසනින් සමරපු තැනත් පස්සෙ කාලෙක වලියක් එහෙම ගිහින් තිබුණලු. 😀