කැප් එකේ කතාව

අද පොඩි සිද්ධියක් වුණා පාඩමක් ඉගෙනගත හැකි. ඒ නිසාම මේ කතාව ලියල තියන්න හිතුණා.

පොඩ්ඩක් විතර දුර ගමනක් යන්න උදේම ගෙදරින් පිටත් වෙනකොටම වාහනේ ඉන්ධන මාපකය තිබුණෙ E අකුර කිට්ටුවට වෙන්න. ඉතින් දක්ෂිණ අධිවේගයට දාන්න කලින් කරන්දෙණිය බොරකන්ද Lanka Filling Station එකට (Sunil Ambawatta) වාහනේ හැරෙව්වෙ ටැංකිය පුරවගන්න. පෙට්රල් ගහද්දි මම පුරුද්දක් විදියට වාහනෙන් බහිනවා. ඉතින් අදත්  වාහනෙන් බහිද්දි එතනින් පිටත් වෙන පොඩි රතු කාර් එකක් දිහාවට හැරිලා කට්ටිය හෝ හෝ ගාලා කෑ ගහනවා. වාහනේ පිටත් වුණා. එතන හිටපු කෙනෙක් පෙට්රල් ටැංකියක කැප් එකක් අරන් ගිහින් ඇතුලෙන් තියද්දි මට සිද්ධිය මීටර් වුණා.

වෙනදා මෙතන ඉන්නවා රැවුල වවාගත්තු ටිකක් විතර මහත කොල්ලෙක්. කීප වරක් මෙතනින් ඉන්ධන මිළදීගත් නිසා පොර මම අඳුනනවා. Customer service සුපිරි. අද ඒකා නෑ. මුළු ස්ටාෆ් එකම වෙනස් වෙලාද මන්දා. අද පෙට්රල් ගහන්න හිටියෙ කකුලක ආබාධයක් තිබුණු මැදි වයසෙ විතර මනුස්සයෙක්. (කකුලෙ ආබාධය ගැන කිව්වෙ පුද්ගලයා හඳුනගන්න මිසක් වෙන එකකට නෙමේ) ඒ යකාට සිහිය නෑ. රතු කාර් එකේ පෙට්රල් ටැංකියෙ කැප් එක නොදා තමයි යවල තියෙන්නෙ.

සිද්ධිය අවබෝධ වෙච්ච මම, උදව්වක් කරන බලාපොරොත්තුවෙන් ඒ මනුස්සයගෙන් මම තුන් සැරයක් ඇහුවා වාහනේ නොම්මරේ බලාගත්තද කියල. තුන්වෙනි වතාවෙ අහද්දි නින්දෙන් අවදි වෙලා වගේ මට කියනවා “හරි හරි සල්ලි ගත්තා” කියල. තදබල අප්පිරියාවකුත් එක්ක ආපහු මේ ගැන කතා කරන එක වැඩක් නෑ කියල හිතාගත්ත මම මගේ වැඩේ කරගෙන එතනින් පිටත් වුණා. කොහොම වුණත් මමත් මගේ වාහනේ කැප් එක තියෙනවද කියල ඩබල් චෙක් කරගෙනයි පිටත් වුණේ.

ඉතින් සිරිත් පරිදිම මම උපරිම වේග සීමාවට නොඅඩු වේගයෙන් කොළඹ පැත්තට යනවා. ඒ අතරේ මට අර වාහනේ මතක් වෙනවා. අළුත් වාහනයක්… මොනවහරි safety mechanisms ඇති. මම mechanic නෙමේනේ ඒවා හරියටම කියන්න. හදිසියෙවත් අනතුරකදි ඒ පැත්ත කොහෙහරි ඇතිල්ලිලා ගිනිගත්තොත්!?

මෙන්න අළුත්ගම පහුවෙද්දිම මට පේනවා රතු කාර් එකක් හිමීට ඉස්සරහට ඇදෙනවා. අර වාහනේ වගේ. wp නොම්මරයක් තිබ්බේ. ඕවර්ටේක් කළ ගමන් හිතුණා කොයි එකටත් මේ වාහනේ ගැනයි සිද්ධියයි සැකපිට 1969 කතා කරල කියනව කියල. ඕන දෙයක් කරගන්නෙ නැතෑ.

ටිකදුරක් ඒ වාහනේ follow කරද්දි එයාල හැරෙව්ව service area එකට. මටත් කෝල් එකක් ගන්න යන්න ඕනෙ වෙලා තිබබ තැන. හොඳ වෙලාවට! ඒ වාහනේ නවත්තපු ගමන් කට්ටියට සිද්ධිය කියල බලද්දි කැප් එක නෑ! මගේ අනුමානය හරි. මගේ ගමන විනාඩි කීපයකින් පරක්කු වුණත්, ඒ මිනිස්සුන්ට කළ යුතු, කළ හැකි උදව්ව කරන්න මට පුළුවන් වුණා. කට්ට කියන්නෙ දැන් මේ අය යන ගමනත් නවත්තල දොඩංගොඩට ගිහින් ආපහු හරවන් එන්න ඕනා, කිලෝමීටර 70ක විතර ඉන්ධන නාස්තියක් නොසැලකිලිමත්කම නිසා.

ඉතින් මේක හොඳ පාඩමක් පෙට්රල් ගහද්දි කම්මැලි නැතුව ලොකුකම් නැතුව වාහනෙන් පොඩ්ඩක් බැහැල බලන්න. විශේෂයෙන්ම කරන්දෙණියෙ බොරකන්ද රෝහල ළඟ පිරවුම්හලට යනවනම් පොඩ්ඩක් වැඩියෙන් සැලකිලිමත් වෙන්න… කලින් හිටපු හොඳ එකා නෑ දැන් ඉන්නෙ මැන්ටලයක්. අනික highway එකට දාගත්තට පස්සෙ U turn බෑ.

පසුව දැනගත් පරිදි: කැප් එක නැතුව යන එකේ වාහනේට හානියක් නෑ. වාහනේ පෙරළුණත් ඉන්ධන පිටාර ගලන්නෙ නැති වෙන්න mechanisms තියෙනවා. – නමුත් අවදානමක් නැත්තෙත් නෑ.

Advertisements

පුහු මිම්ම

මේක කැම්පස් එකේ දෙක වසර කාලෙ විනාඩි දෙකතුනක ඉතාම සුළු සිද්ධියක්. හැබැයි ඒ පාඩම ජීවිත කාලෙටම මතක තියෙයි.

දවසක් මම බවනේ ලැප්ටොප් එකත් දිග ඇරන් වඩයක් කකා ඉන්නකොට, කැෂුවල් ෂර්ට් එකක් කලිසමට යට නොකර ඇඳලා සැන්ඩ්ල්ස් දෙකකුත් දාගෙන ආපු මනුස්සයෙක් එනවා මං වාඩිවෙලා හිටි මේසෙටම. එන්නේ අලියා බීම බෝතලේකුත් අතේ තියාගෙන. පෙනුමින්, මොකක් හරි පොඩි අවශ්‍යතාවයකට කැම්පස් එකට ආපු කෙනෙක් වගේ තමයි පෙනුණේ – අපේ බැචෙකුගෙ හරි ජුන්නෙකුගෙ හරි තාත්ත කෙනෙක්වත්ද? අපි අතර වචන කීපයයි හුවමාරු වුණේ,

“Mind if I sit here?”

“Sure, no problem.”

මම ඒ මනුස්සයා දිහා නොබල මගේ වැඩේ කරගත්තා, ඒ මනුස්සයා බීම එක බීල යන්න ගියා. ඊට පස්සෙ තමයි සින්නෙක් කිට්ටු කලේ මා ගාවට.

“මල්ලි උඹ දන්නවද අර බීම එක බීල ගිය මනුස්සය කවුද කියල?”

“නෑ, මොකක්ද special?”

“යකෝ ඒ ඇමරිකාවෙ යුනි එකක ප්‍රොෆෙසර් කෙනෙක්. සති දෙකකට ලංකාවට ඇවිත් මෙහේ ලෙක්චර්ස් වලට. හිතන්න පුළුවන්ද දැක්කම?”

පොඩි වෙලාවකට තුෂ්ණිම්භූත වුණු මම, යටිහිතින් කල්පනා කළා… “හොඳ වෙලාවට මගේ හැසිරීමෙන් වරදක් වුණේ නැහැ”. ඒ මනුස්සයගෙ ආචාරශීලී ගතියෙන්වත් මට යමක් නොදැනුණු හැටි!


මේ පුංචි කතාව මට මතක් වුණේ මෑතකදි මම ගැන වැඩිහිටි දෙපාර්ශ්වයක් අතර වෙච්ච පුංචි කතා බහක් මට ආරංචි වුණු නිසා.

“ඒ ළමය සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්”

“වෙන්න බෑ බලන්නකො තට්ටෙයි රැවුලෙයි හැටි තම්බියෙක් වගේ.”

“ඒ ළමයට කාර් එකක්වත් නැහැනෙ.”

වේලිච්ච ඉරටු නවන්න බැරිව ඇති. හැබැයි “ටිපිකල් ශ්‍රී ලංකන්” පටු සිතිවිලි වලින් අපිවත් මිදෙමු.

උබුන්ටුවේ සිංහලෙන් ලියමු

උබුන්ටු වලට සිංහල දාන හැටි? කැම්පස් කාලෙ ලියාපුවනේ…! 😀

හරි. එහෙනම් චූටි ළමයි ටික ඉස්සෙල්ලම අහගන්න. මීට අවුරුදු හත අටකට කලින් ඔය ළමයි ඉස්කෝලෙ යන කාලෙ උබුන්ටු වලට සිංහල දානව කියන්නෙ වෙනමම ගේමක්. ඒ දවස් වල අපි අළුතින් වින්ඩෝස් හෝ ලිනක්ස් ඉන්ස්ටෝල් කළ ගමන්ම ඊළඟට දාගන්න එක තමා සිංහල යුනිකෝඩ් කියන්නෙ. ඊටත් කලින්, වින්ඩෝස්, ලිනක්ස් ඔය ඔක්කොටම සම්මතයක් විධියට සිංහල යුනිකෝඩ් එක ගේන්න විවිධ බාධක මැද තවත් පිරිසක් තමන්ගෙ කාලය, ශ්‍රමය කැප කරමින් ගොඩක් මහන්සි වුණා. තවත් පිරිසක් සිංහල භාවිතය ප්‍රචලිත කරන්න ලොකු වෙහෙසක් දැරුවා. ඒකෙ ප්‍රතිපලයක් විධියට, අද වෙනකොට අළුතින් වින්ඩෝස් හෝ ලිනක්ස් ඉන්ස්ටෝල් කළාම සිංහල ඉන්ස්ටෝල් කරන්න ඕනෙ කියන එක අමතක වෙන තරමටම අද අපි සිංහල භාවිතා කරනවා. වෙන එකක් තියා, සිංහලෙන් ලියන එක පොෂ් මදි වගේ දැනිච්ච අයත් අද අපූරුවට සිංහලෙන් ලියනවා. සිංහල තමා දැන් ට්‍රෙන්ඩ් එක! 🙂

ඉතින් ඔය වැඩේ කරන හැටි මතක තියාගන්න අමාරු නිසා අපි උදව් ගත්තේ sinhala.sf.net කියන අඩවියෙන්. හැබැයි මේ අඩවිය 2009න් පසුව යාවත්කාලීන වෙලා නැහැ. එදාට වඩා අද උබුන්ටු වලට සිංහල දානවා කියල කරන්න තියෙන්නෙ input method එක දාගන්න එක විතරයි. පෙරනිමියෙන් දීලා තියෙන phonetic method එකට වඩා ඉතා පහසු විජේසේකර යතුරුපුවරුව හදාගන්න මෙන්න මේ ටික කළා නම් හොඳටම ඇති. Ctrl + Alt + T ගහලා අරින්න ටර්මිනල් එකක්..

$ sudo apt-get install ibus-m17n m17n-db m17n-contrib
  1. System Settings –> Text Entry
  2. (+) ලකුණ ක්ලික් කරලා wijesekara කියල ටයිප් කළාම එන එක එකතු කරගන්න.
  3. “Switch to next source using:” කියන තැන ක්ලික් කරලා Left Alt + Left Shift තද කරන්න – නැත්තම් ඉංග්‍රීසි-සිංහල අතර මාරු වෙන්න තමන්ට පහසු යතුරු සංයෝජනයක් ඇතුළත් කරන්න.

ඉතාම සරලයි. 🙂

දැං ෆේස්බුකියේ ලිය ලිය ඉන්න ගමන් Left Alt + Left Shift ප්‍රෙස් කළ ගමන් එතනින් එහාට ලියවෙන්නෙ සිංහලෙන්. ආපහු ඒකම කළාම ආපහු ඉංග්‍රීසි.

ප.ලි. –
විජේසේකර සිස්ටම් එක අමාරුද? මගේ ඇඟිලි ඊට වඩා අමාරු එකක් මේ දවස් වල පුරුදු වෙනවා. ඒ තමා ගිටාර් එකේ F කෝඩ් එක ප්ලේ කරන හැටි.